ලෝකයේ ගමන් මග විවිධ වූ කාල වකවානු වල නොයෙක් වූ වෙනස්කම් ඇතුව ගමන් කරයි.  අප කැමති වුවද අකැමති වුවද ඇතැම් දේ නිරායාසයෙන් වැළඳ ගැනීම කළ යුතු වනුයේ කාලයේ මෙම වෙනස් වීම හේතුවෙන්ය. ඇළක දොළක මිහිරවිඳ කුඹුරකට, කොටුවකට බැස දහඩිය හෙළූ ගමේ බංඩාටද පරිගණකය අනිවාර්යය කරනු ලැබුවේ බංඩා‍ගේ අවශ්‍යතාවය මත ම නොවේ. වැල යන අතට මැස්ස ගැසිය යුතු වූ හෙයින් බංඩාට පරිගණකය අතැර යාම කළනොහැකි විණි. එබැවින් බංඩා පරිගණකය බදා ගැනීමට තැතදැරුවද එහි වූ මහත් ඵල ප්‍රයෝජන බෙදාගැනීමට සමත් වියතෙක් විය නොහැකි විණ. මහත්වූ ජාතී ආලයෙන් උද්දාමයට පත් වූ රටේ දේශපාලකයන් සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ අතුරු ඵලයක් ලෙස ඉංග්‍රීසිය තහනම් වචනයක් වී බංඩාට විශ්ව ගම්මානයේ අපූරු වූ රස තැන් කෙමෙන් දුරස් කරනු ලැබූ අතර ම සිංහල වියතුන්ගේ හා මහා ප්‍රාඥාවන්තයින්ගේ ආනිසංසයෙන් සිංහල අක්ෂර නිවැරදිව ගලපා ලිවීමේ හැකියාවද බංඩාගෙන් දුරස්කරනු ලැබුවේ ජාතියක් ලෙස සිංහලයෙක්වී උපන් අභාග්‍යය නිසාවෙන්ය.

මයික්‍රෝසොෆ්ට්  දේශීය කරණය වීම

ඇමරිකාවෙන් හිඟා කමින් හා බිල්ගේට්ගේ මෘද්‍රකාංග හොරෙන් භාවිතා කරමින් අපේකම ලොකුකම හා බොරුව‍ අතර පොස් ගැන රසකථා කියවමින් ජීවත් වන ලාංකීය ජන සමාජයේ හද‍වත්හී ගමන්කරන කුණු ලේ දහරාව බිල්ගේට් විසින් හඳුනා ගැනීම මයික්‍රෝසොෆ්ට්  දේශීය කරණය කිරීම නමින් හඳුන්වයි. මින් ලාංකික ජන සමාජයේ ජීවත්වන බංඩා  විශ්ව ගම්මානයේ ගමක පරිගණකය හසුරුවන හා ඉන් මහත්වූ ආනන්දයක් ලබන පුද්ගලයෙකු බවටත්, ඉංග්‍රීසි බස හඳුනාගත් හා භාවිතා කරනු ලබන පුද්ගලයා විශ්ව ගම්මානයටත් ඉන් ඔබ්බටත් ගමන් කරනු ලබන පුද්ගලයෙකු බවටත් පත්කෙරෙනු ඇත. ඒ අතර යම් දිනක බංඩාද  විශ්ව ගම්මානයට එක්වනු ඇත.


පරිගණකයෙන් සිංහල යතුරුලියනය කිරීමේදී එකින් එක වෙනස්වූ ස්ථානවල පිහිටුවා තිබූ අක්ෂර හරි හෝ වැරදි හෝ සම්මත ස්ථානයකට ගෙන ඒමේ කාර්යය මේ වන විට සිදුවී අවසන්ය. එසේම විස්ටා හා ඔපිස් 2007 සංස්කරණ සිංහල බසට සැකසී අවසන්ය. මෙය නො‍මිලේම අපට ලබාගෙන පරිගණකයේ ස්ථාපිත කරගැනීම කළ හැකිය. බිල්ගේට්ගේ ඉස්කෝල පොත භාවිතා කරමින් බිල්ගේ‍ට්ට බැන වැදුණු ආකාරයෙන්ම දේශීය කරණයට ලක්වූ විස්ටා හා ඔපිස් 2007 භාවිතා කරමින් එයට බැනවැදීමේ කාර්යයද ඔබ වෙත පැවරී ඇත. එසේ නොමැති නම් ‍අපේ යැයි කියමින් ගිනි නරියා වැළඳගත් සේ අපේ යැයි කියමින්  විස්ටා හා ඔපිස් 2007 වැළඳ ගැනී‍මත් අපට කළහැකිය. එසේ නොමැතිනම් ‍FOSS සකසන දෙවිවරුන් කවදා හෝ දිනක අපේ දෙසත් බැල්ම හෙළනු ඇතැයි සිතමින් හිත හදාගැනීමත් කළ හැකිය. 

අද පාඩම හා ප්‍රායෝගික කොටස

අපේ කම අපේ දේ ගැන කටමැත දෙඩූවද IT වසර වෙනුවෙන් කිසිත් නොකළ අපට ඇමරිකාවේ බිල්ගේට්ගෙන් සිංහල ‍ඉගෙන ගැනීමටත්, එහි වන ආනන්දය වීදීමටත්, මෙම සංස්කරණවල පවතින අඩුපාඩු මයික්‍රෝසොෆ්ට්  වෙත දැනුම් දී‍මත් කළහැකිව පවතී. ඒ සඳහා මයික්‍රෝසොෆ්ට්  සමාගම ඔබට ආරාධනා කර ඇත. වහා ඒ සඳහා ඔබ දායකත්වය ලබාදෙන්න.

වැඩි විස්තර සඳහා පහත වෙබ් ලිපිනයන්ට පිවිසෙන්න.

මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා වෙබ් අඩවිය :

http://www.microsoft.com/srilanka

වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම  බාගත කිරීමට:

            http://www.microsoft.com/srilanka/WindowsVistaInSinhala.aspx

මයික්රොසොෆ්ට් ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම  බාගත කිරීමට:

http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx

සැ.යු.
පරිගණකයේ විස්ටා  හා ඔපිස් 2007 ස්ථාපිත කොට තිබිය යුතුය.